සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඇය මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ තමා සහ තම දරුවන් ඉලක්ක කර ගනිමින් සිදුවන සැක සහිත නිරීක්ෂණ කටයුතු පිළිබඳවයි.
පැමිණිල්ලේ සඳහන් වන පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ අයෙකු ලෙස සැක කළ හැකි සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු නිරන්තරයෙන් ඔවුන්ව නිරීක්ෂණය කරමින් සිටී. ඊයේ දින තම 17 හැවිරිදි දියණිය සහ 22 හැවිරිදි පුත්‍රයා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන තම පියාගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදී, මෙම පුද්ගලයා ඔවුන් පසුපස හඹා විත් සිය ජංගම දුරකථනයෙන් දරුවන්ගේ ඡායාරූප ලබා ගැනීම සහ වීඩියෝ ගත කිරීම සිදු කර ඇති බව මනෝරි සලේ මහත්මිය පවසයි.
මෙම සැක සහිත පුද්ගලයා මීට පෙර අවස්ථාවන්හිදී ද ජාතික රෝහල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය ආශ්‍රිතව නිරීක්ෂණය වී ඇති බව ඇය සිය පැමිණිල්ලේ තවදුරටත් සඳහන් කරයි.
මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් ස්වාධීන සහ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසත්, මෙම ක්‍රියාවන් පසුපස සිටින පුද්ගලයා කවුරුන්දැයි හඳුනා ගන්නා ලෙසත්, කාගේ උපදෙස් මත මෙම නිරීක්ෂණ කටයුතු සිදු කරන්නේ දැයි තහවුරු කරගන්නා ලෙසත් මනෝරි සලේ මහත්මිය අදාළ අධිකාරියෙන් දැඩිව ඉල්ලා සිටියි.
















