රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට සිදුවන බව කියන අමානුෂික සැලකීම් සහ වධහිංසා සම්බන්ධයෙන් වහාම ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
සිය පුත්‍රයා සහ ඔහුගේ සහෝදරයා ඊයේ (06) සුරේෂ් සලේ මහතාව හමුවූ අවස්ථාවේදී අනාවරණය වූ තොරතුරු පදනම් කරගනිමින්, ඔහු මුහුණ දී සිටින අභියෝග පිළිබඳව කරුණු 10ක් මෙම ලිපිය මඟින් ඇය අවධාරණය කර ඇත. වධහිංසා පැමිණවීම, කුරිරු ලෙස සැලකීම, නිල බලය අභිභවා කටයුතු කිරීම සහ වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කිරීම යනාදී චෝදනා ඒ අතර වේ.
මෙම අසාධාරණය සහ දැඩි මානසික පීඩනය දරාගත නොහැකි තැන සුරේෂ් සලේ මහතා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පවුලේ සාමාජිකයන්ට පවසා තිබේ. කෙසේ වෙතත්, තමන් නිවැරදිකරු බව අධිකරණය හමුවේ ඔප්පු වන බවට විශ්වාසය පළ කරන ඔහු, තමාට යම් අනතුරක් සිදුවුවහොත් නීතිමය ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙස තම නීතිඥවරුන්ට උපදෙස් දී ඇත.
මනෝරි සලේ මහත්මිය සිය ලිපිය මඟින් පෙන්වා දෙන්නේ, මෙම වධහිංසා පිළිබඳව මීට පෙර මාර්තු 07 වන දින පොලිස්පති කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කළද, ඒ පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් හෝ විමර්ශනයක් සිදුවී නොමැති බවයි. රඳවා සිටින පුද්ගලයෙකුගේ ජීවිතය, සෞඛ්‍යය සහ ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට බලධාරීන්ට වගකීමක් පවතින බව පවසන ඇය, මෙම ලිපිය යළි ඉදිරිපත් කළ පැමිණිල්ලක් ලෙස සලකා, වහාම විමර්ශනයක් පවත්වා වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවන ලෙස ඉල්ලා සිටී.
















