දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස සිදු කළ ඉල්ලීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ ස්ථාවරය ලබන ජූනි 02 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (26) නියම කළේය.
සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අස්තික දේවේන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා යාමට අවශ්‍යව ඇති බවත්, ඒ සඳහා පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙසත් ඉල්ලා සිටියේය.එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට දැනුම් දුන්නේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලබන 02 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. එදින දෙපාර්ශවයේ කරුණු විමසා සුදුසු නියෝගයක් ලබා දෙන බව ද අධිකරණය සඳහන් කළේය.















