අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ අවසන් කටයුතු අද (13) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. කලා ක්ෂේත්‍රයේ ප්‍රභූන්, රසික ජනතාව සහ ඥාතීන් විශාල පිරිසකගේ ගෞරවය මැද ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිමාවට පත්විය. කලක් තිස්සේ පැවැති අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුගිය 10 වැනිදා අලුයම අභාවප්‍රාප්ත වූ අතර, මිය යන විට 68 වැනි වියෙහි පසුවූවාය.
ලංකාවේ බටහිර ආරේ වේග රිද්ම ගායන ක්ෂේත්‍රයේ නොමැකෙන සලකුණක් තැබූ ඇය, ‘කැන්ඩි ළමිස්සි’, ‘රහසයි සොඳුරු ජීවේ’, ‘සිහින නෙළුම් මල්’, ‘නෙළුම් මලේ පෙති කඩලා’, ‘කුමරාණනේ’ සහ ‘පහන් නොවන රැයක’ ඇතුළු පරම්පරා ගණනාවක් වැළඳගත් ජනප්‍රිය ගීත රැසක් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කළ ප්‍රේමණීය කලාකාරිනියකි.
















