ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමේ අරමුණින්, MAS Athlete Training Academy සහ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) උපායමාර්ගික සහයෝගීතාවයකට එළඹ තිබේ. මෙම හවුල්කාරිත්වය මගින් ක්‍රීඩකයන්ට තම ක්‍රීඩා පුහුණුවීම් බාධාවකින් තොරව සිදුකරන අතරම උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව සලසා දෙන විධිමත් ද්විත්ව වෘත්තීය මාවතක් නිර්මාණය කෙරේ.
මෙම ව්‍යාපෘතිය යටතේ MAS Athlete Training Academy හි සුදුසුකම් ලත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වසර 8ක් පුරා වාර්ෂිකව පූර්ණ උපාධි ශිෂ්‍යත්ව 5 බැගින් පිරිනැමීමට SLIIT කටයුතු කරයි. මෙම ශිෂ්‍යත්ව මගින් ක්‍රීඩකයන්ගේ අධ්‍යාපන අභිලාෂයන් සහ ක්‍රීඩා දක්ෂතාවන් අතර සමබරතාවයක් පවත්වා ගැනීමට ඔවුන්ට මහෝපකාරී වේ.
SLIIT උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා පවසන්නේ, ඔලිම්පික් ඇතුළු ජාත්‍යන්තර තරඟාවලි නියෝජනය කරමින් ශ්‍රී ලංකා නාමය ලෝක තලයේ සනිටුහන් කරන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් බිහි කිරීම සිය ආයතනයේ අපේක්ෂාව බවයි. ක්‍රීඩකයන්ගේ සුභසාධනය සහ දක්ෂතා වර්ධනය වෙනුවෙන් සර්වගාමී ප්‍රවේශයක් ලබා දෙන මෙම වැඩසටහන හරහා පෝෂණ උපදෙස්, මානසික සුවතාවය සහ ක්‍රීඩා විද්‍යාත්මක සහයෝගය වැනි අංශයන් ඔස්සේ ද ක්‍රීඩකයන් පෝෂණය කරනු ලබයි.
මෙම හවුල්කාරිත්වය 2028 සහ 2032 ඔලිම්පික් උළෙල වැනි ප්‍රධාන ජාත්‍යන්තර තරඟාවලි ඉලක්ක කරගත් ජාතික අභිලාෂයන් සමඟ මනාව අනුගත වේ. හුදු පොරොන්දුවකට පමණක් සීමා නොවී මෙම වැඩසටහන මේ වන විටත් සක්‍රීයව ක්‍රියාත්මක වන අතර, දැනටමත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකු SLIIT ආයතනයෙහි තම අධ්‍යයන කටයුතු ආරම්භ කර ඇත. අධ්‍යාපන ජයග්‍රහණ සහ ක්‍රීඩා කෞෂල්‍යය එකිනෙක පෝෂණය වන පරිසරයක් නිර්මාණය කිරීම හරහා උගත් සහ විනයගරුක ක්‍රීඩක පරපුරක් රටට දායාද කිරීම මෙම හවුල්කාරිත්වයේ අවසාන ඉලක්කයයි.
















