දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දී සිටින පානීය ජල හිඟයට කඩිනම් සහ අඛණ්ඩ විසඳුම් ලබාදීම වෙනුවෙන් විශේෂ සාකච්ඡාවක් අද (01) මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම හමුව සඳහා ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් සහ අදාළ පාර්ශ්වකරුවන් රැසක් එක්ව සිටියහ. වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට ප්‍රමාණවත් පරිදි පානීය ජලය බෙදා හැරීමේදී මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර, ජල සැපයුම් මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීමට අවශ්‍ය හදිසි ක්‍රියාමාර්ග ගැනීමට අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.














