27 April 2024
#සංවර්ධන

ඉදිරි වසර තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වඩාත් සක්‍රීය කරනවා – ඇමැති ප්‍රසන්න

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සදහා නව වැඩපිළිවෙලක් සැකසෙන අතර සංචාරක පැකේජ හදුන්වා දීමට ඉදිරියේ දි කටයුතු කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

දැනටමත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් යානා සදහා විශේෂ සහන පැකේජ හදුන්වා දි තිබෙන බව අමාත්‍යවරයා කියා සිටියේය.

ගුවන් තොටුපළ අපනයන බදු වසර දෙකක කාලයක් සදහා නිදහස් කර ඇති අතර ගොඩ බෑමේ හා නවතා තැබිමේ ගාස්තු සදහා ද වසරක සහන ලබා දී ඇති අතර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරක ආකර්ෂණය හිමි ගුවන් තොටුපළක් ලෙස ප්‍රවර්ධනය කිරිමේ දි ගුවන් තොටුපළ ආශ්‍රිත හෝටල් පහසුකම් වැඩි දියුණු කිරිම සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු ව ඇතැයි ඇමතිවරයා සදහන් කරයි.

මත්තල ගුවන්තොටුපළේ පහසුකම් වැඩි දියුණු කිරීමට ද රජය කටයුතු කරමින් සිටි අතර එහි අංග සම්පුර්ණ භාණ්ඩ පිරික්සුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම සදහා පවතින නඩත්තු ගොඩනැගිල්ල නවීකරණය කිරීමට කටයුතු යොදා ඇති බව හෙතෙම පැවසිය.

ඒ සදහා ඇමති මණ්ඩල අනුමැතිය ද හිමිව තිබෙන අතර ගුවන් යානා අලුත්වැඩියා කටයුතු ආරම්භ කිරිමට ද කටයුතු යොදා ඇති අතර විදේශීය ගුවන් යානා වලට සේවා සැපයීම එහි අරමුණ වන බව ද ඔහු අනාවරණ කලේය. ඒසේම ඉදිරි කාලය තුළ සුළු නඩත්තු කිරිම් මත්තල ගුවන්තොටුපළ තුල සිදු කිරීමට ද අපේක්ෂිත බව අමාත්‍යවරයා කියා සිටියේය.

ගුවන් යානා නඩත්තු කිරිම්, එන්ජින් අලුත්වැඩියා කිරිම් සදහා ශක්‍යතා අධ්‍යනයක් ද සිදු කර තිබෙන අතර ඊට අදාළ යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් සම්පුර්ණ කිරිමට කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා සදහන් කරයි.

ගුවන් භාණ්ඩ මෙහෙයුම් සේවා මත්තල රාජපක්ෂ ගුවන් තොටුපළ තුල පුළුල් කිරිමට ද අපේක්ෂා කරන අතර ඒ අනුව ඉදිරියේ දී සතියකට භාණ්ඩ ගුවන් යානා 06 ක් පමණ කියාත්මක කිරිමට සැලසුම් කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.

මේ වන විටත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම භාණ්ඩ හැසිරවීමේ සේවා සැපයීම ආරම්භ කර තිබෙන බවත් පුළුල් ගුවන් යානා 03 ක් ඇතුළු ව ගුවන් යානා 07 ක් පමණ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදවා ගෙන ඇති අතර ඉදිරි වසර තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ වඩාත් සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටින බව ද ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *