27 April 2024
#දේශීය

විදෙස්ගත ශ්‍රමිකයින්ට සහන සලසන හා සේවා සපයන වසරක් වේවා – ඇමති මනුෂ

විදෙස්ගත ශ්‍රමිකයින්ට හා ඔවුන්ගේ පවුල්වලට හා විදේශ රැකියා අපේක්ෂිතයින්ට වැඩියෙන්ම සේවා සපයන හා වැඩියෙන්ම සහන ලබාදෙන වසර බවට 2023 වසර පත්කර ගත යුතු බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී නව වසරේ රාජකාරි ආරම්භ කරන අවස්ථාවේදී කාර්ය මණ්ඩලය අමතමිනි.

2022 වසරේ 311,269 දෙනෙකු රැකියා සදහා විදේශ ගතකිරීමට ශ්‍රමිකයින් සම්බන්ධ කටයුතුවලදී ඉතා වෙහෙසවී කැප වී කටයුතු කළාවූ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයින් වන ඔබ මෙම වසරේ තවත් ඉලක්කයක් සපුරාලිය යුතු බව හෙතෙම පැවසිය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මුදල් අරපරිස්සමින් පරිහරණය කරමින් විදේශ ගත ශ්‍රමිකයින් වෙනුවෙන් වැය කරමින් සේවය කරන බවත් එම මුදල් යෙදවිය යුත්තේ විදේශගත ශ්‍රමිකයින්ගේ යහපැවැත්ම වෙනුවෙනුයි. විදෙස්ගත ශ්‍රමිකයින්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට වැඩියෙන්ම සේවා පහසුකම් සපයන වසර බවට 2023 වසර පත්කර ගනිමු. පසුගිය වසරේ විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් අලුත් වැඩසටහන් රැසක් කරන්නට හැකිවුණා. වසර ගණනාවක සිට ඔවුන් බලාපොරොත්තුවෙන් හිටපු විශ්‍රාම වැටුප් ක්‍රමය අපි හඳුන්වලා දුන්නා. විදෙස් ගතවන විට ඔවුන්ට ගුවන් තොටුපොලේ විශේෂ ද්වාරයක් විවර කරා. ඒ වගේ ඔවුන් වෙනුවෙන් මේ වසරේ තවත් වැඩකිරීමට අදිටන් කරගනිමු. ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අභ්‍යන්තර සංයුතිය වෙනස් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම නිළධාරීන් දීමනා කපා හරිනවා කියද්දි කලබල නොවී වැඩකරපු පිරිසක්. ඒදේ මම අගය කරනවා. මේ වසරේ වැඩි වැඩියෙන් විදෙස්ගත ශ්‍රමිකයින්ට සේවා සපයන්නට අදහස් කරමු. අපි සියලු දෙනා එකතු වෙලා සිස්ටම් චේන්ජ් එකකට යමු. ඒ සඳහා පක්ෂ පාට ජාති ආගම් භේද නොසලකා කටයුතු කරමු. අපි හැමෝටම නිදහස් හුස්ම ගන්න පුළුවන් රටක් ගොඩ නැගීමට කැපවී කටයුතු කලයුතු යැයි ” අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය

මේ අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ සාමාන්‍යාධිකාරි ප්‍රියන්ත සේනානායක ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වුහ

Leave a comment

Your email address will not be published. Required fields are marked *