මැදවච්චිය, පූනෑව නාවික හමුදා කඳවුරේ ආධුනික පුහුණුව ලබමින් සිටි 18 හැවිරිදි සෙබළියක නේවාසිකාගාර ගොඩනැගිල්ලකින් වැටී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
අප්‍රේල් 30 වැනිදා අලුයම 6.00 ට පමණ පූනෑව නාවික හමුදා කඳවුරේ කාන්තා නේවාසිකාගාරයේ තෙවැනි මහලෙන් බිමට වැටී මෙම සෙබළිය ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මියගොස් ඇත්තේ මැදවච්චිය, කිඩාගලේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 18 හැවිරිදි තරුණියකි. ඇය මෙලෙස පුහුණුව සඳහා නාවික හමුදාවට බැඳී ඇත්තේ 2026 මාර්තු මස 10 වැනිදාය.
ඇය තෙවැනි මහලෙන් වැටුණේ කෙසේද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත. මෙය අනතුරක්ද, සියදිවි නසාගැනීමක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක්ද යන්න තවමත් අභිරහසක්ව පවතී.
අනතුර සිදුවූ වහාම ඇයව වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් බලධාරීන් තහවුරු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් කැබිතිගොල්ලෑව සහකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත මූලික විමර්ශන ආරම්භ කර තිබේ. මෘත දේහය මේ වන විට මැදවච්චිය මහේස්ත්‍රාත් පරීක්ෂණය සඳහා යොමු කර ඇත.














