ශ්‍රී ලංකාවේ වේගයෙන් ව්‍යාප්ත වන පෞද්ගලික සෞඛ්‍ය සේවා ජාලයක් වන මෙඩිහෙල්ප් හොස්පිටල්ස්, සිය නවතම ශාඛාව කිරිබත්ගොඩ ප්‍රදේශයේදී පසුගියදා විවෘත කළේය. 1979 වසරේදී කිරිබත්ගොඩ කුඩා රසායනාගාරයක් ලෙස ආරම්භ වූ මෙඩිහෙල්ප් ආයතනය, වසර ගණනාවකට පසු නැවතත් සිය ආරම්භක ස්ථානයට පැමිණීම විශේෂ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පවතින සෞඛ්‍ය සේවා අවශ්‍යතාව සපුරාලීම සඳහා විවෘත කෙරුණු මෙම නව මධ්‍යස්ථානය හරහා OPD, ETU, විශේෂඥ වෛද්‍ය සායන, රසායනාගාර පරීක්ෂණ, රේඩියෝලොජි, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් සහ එකෝකාඩියෝග්‍රැෆි වැනි සේවාවන් රැසක් ජනතාවට ලබාගත හැකිය.
මෙම විවෘත කිරීමේ උත්සවය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සහ කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ආචාර්ය සඳුන් යාපා කරුණාරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී අදහස් දැක්වූ මෙඩිහෙල්ප් සභාපති ලෙස්ලි විජේසිරිවර්ධන මහතා, 1985දී හොරණට ව්‍යාප්ත වූ ආයතනය නැවතත් උපන් බිම වෙත පැමිණීම පිළිබඳව සිය සතුට පළ කළේය.
ගුණාත්මක සෞඛ්‍ය සේවාව භූගෝලීය සීමාවන්ගෙන් තොරව ජනතාවට සමීප කළ යුතු බව අවධාරණය කළ මෙඩිහෙල්ප් කළමනාකරණ අධ්‍යක්ෂ චන්දික විජේසිරිවර්ධන මහතා, ඉදිරියේදී කඩවත ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ප්‍රදේශ කිහිපයකට සිය සෞඛ්‍ය සේවා ජාලය ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.
















