මීගොඩ මංසන්ධියේදී දන්සලක පෝලිමක රැඳී සිටි පිරිසක් මතට කැබ් රථයක් කඩා වැදීමෙන් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ සිද්ධියට සම්බන්ධ කැබ් රථයේ හිමිකරු සහ එම රථයේ ගමන් කළ තවත් පුද්ගලයෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. සැකකරුවන් අද (06) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දුන්නේය.
පසුගිය ඉරිදා (31) සිදු වූ මෙම බිහිසුණු රිය අනතුරින් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලැබූ අතර, අනතුරෙන් පසු පලාගොස් සැඟව සිටි කැබ් රථයේ හිමිකරු සහ රථයේ සිටි අනෙක් පුද්ගලයා දින හයකට පසු නීතිඥවරයෙකු මාර්ගයෙන් මීගොඩ පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනිණි.
අනතුර සිදු වූ අවස්ථාවේදී පලාගිය ප්‍රධාන සැකකාර රියදුරාව සිද්ධියෙන් පසු පොලිසිය විසින් ලුහුබැඳ ගොස් ගොඩගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණි. පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි එම සැකකරු අනතුර සිදු වන අවස්ථාවේදී අධික ලෙස බීමත්ව සිටි බවට හඳුනාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















