මීගොඩ ප්‍රදේශයේ පැවැත්වුණු රොටි දන්සැලක පෝලිමේ සිටි පිරිසක් මතට කැබ් රථයක් ධාවනය කර පුද්ගලයන් හය දෙනකු ජීවිතක්ෂයට පත් කිරීමේ ඛේදජනක සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි සැකකරුවන් සිව්දෙනා ලබන 30 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි හෝමගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (16) නියෝග කළාය.
මෙලෙස යළි බන්ධනාගාර ගත කෙරුණේ අදාළ කැබ් රථයේ හිමිකරු බව කියන අත්තනායකගේ දොන් වසන්ත, එස්.කේ. කුමාර නොහොත් සෙල්ලමුත්තු සෙල්ලකුමාර්, රථය පදවාගෙන ගිය රියදුරු වන පී. ප්‍රදීප් කුමාර නොහොත් ගරාජ් කුමාර සහ දොන් සරත් හෙට්ටිගේ යන සැකකරුවන්ය.
නඩු විභාගය අතරතුරදී, අදාළ දරුණු අනතුරින් මියගිය එක් අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබා දීමට විත්ති පාර්ශ්වය කටයුතු කර තිබූ අතර, අනෙක් මියගිය පස්දෙනා වෙනුවෙන් ද රුපියල් ලක්ෂය බැගින් වන්දි මුදල් ලබා දීමට ඔවුන් මෙහිදී සිය එකඟත්වය පළ කර සිටියේය.
















