දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මේ වන විට මෙනින්ජයිටීස් (Meningitis) රෝගීන් 203 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කර තිබේ. පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සඳහන් කළේ, මෙම රෝගීන් ප්‍රධාන වශයෙන්ම දෙනියාය, දියතලාව, රිකිල්ලගස්කඩ සහ මහනුවර යන ප්‍රදේශවලින් හඳුනාගෙන ඇති බවයි.
මෙනින්ජයිටීස් යනු මොළය සහ සුෂුම්නාව වටා ඇති ආරක්ෂිත පටල ආසාදනය වීමෙන් ඇතිවන රෝගී තත්ත්වයක් වුවද, මේ පිළිබඳව මහජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. සෞඛ්‍ය අංශ විසින් රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලුම කඩිනම් වෛද්‍ය සහ ආරක්ෂිත පියවරයන් මේ වන විටත් අදාළ ප්‍රදේශවල ක්‍රියාත්මක කර ඇතැයි හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත්, තද උණ, හිසරදය, බෙල්ල තද වීම (නැමීමට අපහසු වීම), වමනය සහ ආලෝකය දෙස බැලීමට ඇති අපහසුතාවය වැනි රෝග ලක්ෂණ පවතින්නේ නම්, පමා නොවී වහාම ළඟම ඇති රජයේ රෝහල වෙත ගොස් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














