දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (20) පෙ.ව. 11.00ට නිකුත් කර ඇති මෙම අවවාදාත්මක නිවේදනය හෙට (21) පෙ.ව. 11.00 වන තෙක් වලංගු වේ.
ඒ අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම්වලටත්, උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලටත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් වරින් වර පැයට කිලෝමීටර 40ත් 50ත් අතර පමණ වන තද සුළං ඇතිවිය හැකි බව සඳහන් වේ. එම නිසා මෙම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ඒ පිළිබඳව අවධානයෙන් සහ සූදානමින් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.
















