Facebook සහ Instagram හි හිමිකාරීත්වය දරන Meta සමාගම, වයස අවුරුදු 16ට අඩු ඕස්ට්‍රේලියානුවන් විසින් පවත්වාගෙන යනු ලබන බවට සැක කෙරෙන ගිණුම් 750,000කට වැඩි සංඛ්‍යාවක් අක්‍රිය කර ඇති බව අද (13) ප්‍රකාශ කර තිබේ. යොවුන් පරිශීලකයන් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව හඳුන්වාදුන් සමාජ මාධ්‍ය තහනම ක්‍රියාත්මක වීමත් සමඟ මෙම පියවර ගෙන ඇති අතර, නියාමන අවශ්‍යතා අනුව තවදුරටත් ක්‍රියාමාර්‌ග ගන්නා බවද සමාගම සඳහන් කර ඇත.
ලබාදී ඇති තොරතුරු අනුව, දෙසැම්බර් සිට ජුනි දක්වා කාලය තුළ වයස් සීමාවට අදාළ බවට සැක කෙරෙන Instagram ගිණුම් 462,000ක් සහ Facebook ගිණුම් 294,000ක් අක්‍රිය කර තිබේ. ජනවාරි වනවිට පමණක් Instagram ගිණුම් 331,000ක් සහ Facebook ගිණුම් 173,000ක් ඉවත් කර තිබූ බවද සඳහන් වේ.
ළමුන්ගේ සහ යොවුන් වියේ පසුවන්නන්ගේ ශාරීරික හා මානසික යහපැවැත්මට සමාජ මාධ්‍ය භාවිතයෙන් ඇතිවිය හැකි බලපෑම් සැලකිල්ලට ගනිමින් ඕස්ට්‍රේලියානු රජය මෙම වයස් සීමාව හඳුන්වාදී තිබේ. ඒ අනුව වයස අවුරුදු 16ට අඩු පරිශීලකයන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වේදිකා ගන්නා ක්‍රියාමාර්‌ග තවදුරටත් දැඩි වීමට නියමිතය.














