මෙක්සිකෝවේ චිහුවාහුවා ප්රාන්තයේ නීතිවිරෝධී මත්ද්රව්ය නිෂ්පාදනාගාරයක් වැටලීමේ මෙහෙයුමකට අමෙරිකානු CIA බුද්ධි අංශ නිලධාරීන්ට රජයේ අවසරයකින් තොරව සහභාගී වීමට ඉඩ ලබාදුන් බවට එල්ල වූ චෝදනා මත එම ප්රාන්තයේ හිටපු නීතිපති César Jáuregui අත්අඩංගුවට ගෙන තිබේ. CNN පුවත් සේවය වාර්තා කළේ රාජ්ය බලතල අයුතු ලෙස භාවිත කිරීම සහ රාජ්ය නිලධාරීන් අතර කුමන්ත්රණයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහු විමර්ශනයට ලක්වන බවයි.
චිහුවාහුවා ප්රාන්ත නීතිපති කාර්යාලයේ වැඩබලන ප්රධානී Gilberto Loya Chávez වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව තහවුරු කර තිබේ. Jáuregui අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති නමුත් ඒ සඳහා දිනයක් මෙතෙක් ප්රකාශයට පත් කර නොමැති බව ද වාර්තා වේ.
මෙම විමර්ශනයට අදාළ සිදුවීම පසුගිය අප්රේල් මාසයේදී නීතිවිරෝධී මත්ද්රව්ය නිෂ්පාදනාගාරයක් විනාශ කිරීමේ මෙහෙයුමකදී සිදුවූ බව සඳහන් වේ. එම මෙහෙයුමට CIA නිලධාරීන් සහභාගී වූ බව හෙළිවී ඇත්තේ අප්රේල් 19 වැනිදා සිදුවූ මෝටර් රථ අනතුරකින් පසුවය. එම අනතුරින් මෙක්සිකානු ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු සහ අමෙරිකානුවන් දෙදෙනෙකු මියගොස් තිබූ අතර, මියගිය අමෙරිකානුවන් මෙක්සිකෝ නගරයේ අමෙරිකානු තානාපති කාර්යාලයේ උපදේශකයන් බව Jáuregui එවකට ප්රකාශ කර තිබූ බව CNN වාර්තා කළේය.














