මෙක්සිකෝවේ චිහුවාහුවා (Chihuahua) ප්‍රාන්තයේ සිදුවූ රිය අනතුරකින් අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු මියයෑමේ සිද්ධිය හේතුවෙන් දෙරට අතර ඇති වී තිබෙන රාජ්‍ය තාන්ත්‍රික නොසන්සුන්තාවය සමනය කිරීමට මෙක්සිකානු ජනාධිපතිනී ක්ලෝඩියා ෂෙයින්බෝම් (Claudia Sheinbaum) උත්සාහ කරමින් සිටියි.
මියගිය නිලධාරීන් දෙදෙනා අමෙරිකානු මධ්‍යම බුද්ධි ඒජන්සියේ (CIA) නිලධාරීන් බවත්, ඔවුන් මත්ද්‍රව්‍ය නාශක මෙහෙයුමක නිරතව සිට ඇති බවත් විවිධ මූලාශ්‍ර වාර්තා කර ඇත. කෙසේ වෙතත්, අමෙරිකාව ඔවුන් කුමන ආයතනයක සේවය කළේද යන්න මෙතෙක් තහවුරු කර නොමැත. අමෙරිකානු බුද්ධි නිලධාරීන් මෙක්සිකෝ භූමිය තුළ මෙහෙයුම්වල නිරත වීම එරට ජාතික ආරක්ෂක නීති උල්ලංඝනය කිරීමක් දැයි මෙක්සිකෝව පරීක්ෂණ පවත්වයි.
මියගිය පිරිස වෙනුවෙන් මෙක්සිකෝව සිය ශෝකය ප්‍රකාශ කරන අතරම, ඔවුන් මෙක්සිකෝව තුළ කළ රාජකාරිය පිළිබඳව අමෙරිකාවෙන් පැහැදිලි කිරීම් ඉල්ලා සිටියි. “මානුෂීය අංශය සැමට ඉහළින් පවතින” බව පවසමින් ජනාධිපතිනිය සිය ශෝකය නැවතත් ප්‍රකාශ කළේ, මෙක්සිකෝව ප්‍රමාණවත් ලෙස ශෝකය පළ කර නොමැති බවට ධවල මන්දිරයෙන් එල්ල වූ විවේචන හමුවේය. බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීමට එකඟ වුවද, තම භූමිය තුළ අමෙරිකානු නියෝජිතයන් මෙහෙයුම්වල නිරත වීමට තමා ඉඩ නොදෙන බව ජනාධිපතිනී ෂෙයින්බෝම් වැඩිදුරටත් අවධාරණය කළාය.














