දකුණු කොරියාව තමන්ටම ආවේණික වූ මහා පරිමාණ භාෂා ආකෘති (LLM) ගොඩනැගීමට උත්සාහ කරනවා වෙනුවට, එරට සතු අර්ධ සන්නායක (Semiconductor) ශක්තිය උපයෝගී කරගනිමින් ආයතනික AI පරිවර්තනය කෙරෙහි අවධානය යොමු කළ යුතු බව මයික්‍රොසොෆ්ට් ආයතනය අවධාරණය කරයි.
මයික්‍රොසොෆ්ට් ආසියානු කලාපීය උප සභාපති මයික් යේ (Mike Yeh) මහතා පෙන්වා දෙන්නේ පසුගිය වසර හතර තුළ බොහෝ රටවල් තමන්ගේම LLM ආකෘති නිපදවීමට ඩොලර් මිලියන ගණනින් ආයෝජනය කළත්, ඉන් සාර්ථක වී ඇත්තේ ප්‍රංශයේ ‘Mistral’ වැනි ආකෘති කිහිපයක් පමණක් බවයි. එබැවින් දකුණු කොරියාවද ආකෘති නිර්මාණයට වඩා තමන් දක්ෂ චිප් (Chip) නිෂ්පාදන ක්ෂේත්‍රය දියුණු කළ යුතු බව ඔහු පවසයි.
විවෘත AI පද්ධතියක් යනු ඕනෑම අයෙකුට තමන් කැමති ක්ලවුඩ් (Cloud) සේවාවක් හෝ AI ආකෘතියක් නිදහසේ තෝරා ගැනීමට ඇති හැකියාවයි. ඇමරිකානු රජයේ සහය ලබන මයික්‍රොසොෆ්ට් සහ ගූගල් වැනි සමාගම් මේ වන විටත් ගෝලීය AI ප්‍රමිතීන් තමන් සතු කර ගැනීමට උත්සාහ කරමින් සිටින බවද මෙහිදී සාකච්ඡා විය.
දකුණු කොරියානු විද්‍යා හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ස්වාධීන AI ආකෘතියක් නිපදවීම රජයේ එකම ඉලක්කය නොවන බවයි. තාක්ෂණය දියුණු කිරීම, සේවාවන් පුළුල් කිරීම සහ සෞඛ්‍ය සම්පන්න AI පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම රජයේ ප්‍රමුඛතාවය බව ඔවුන් පවසයි.
නැවර් ක්ලවුඩ් (Naver Cloud) වැනි දකුණු කොරියානු දේශීය සමාගම් පෙන්වා දෙන්නේ පූර්ණ විවෘතභාවයකට වඩා තමන්ට ගෝලීය වෙළඳපොළේ තරඟ කිරීමට අවශ්‍ය දත්ත සහ විදුලි පිරිවැය අඩු කර ගැනීමට රජයේ සහය අවශ්‍ය බවයි.














