මයික්‍රොසොෆ්ට් ආයතනය (Microsoft Threat Intelligence) විසින් නිකුත් කරන ලද 2026 වසරේ පළමු කාර්තුවට අදාළ ඊමේල් තර්ජන වාර්තාවට අනුව, එම කාලසීමාව තුළ පමණක් ඊමේල් මාර්ගයෙන් සිදු කළ තොරතුරු සොරකම් කිරීමේ ප්‍රහාර බිලියන 8.3ක් පමණ වාර්තා වී තිබේ. මෙහිදී ප්‍රධාන වශයෙන් පරිශීලකයන්ගේ රහස්පද සහ ගිණුම් තොරතුරු (Credentials) සොරකම් කිරීම ඉලක්ක කරගත් ප්‍රහාර රැසක් හඳුනාගෙන ඇත.
සමස්ත ඊමේල් තර්ජනවලින් 78%ක්ම ලින්ක් (Links) මත පදනම් වූ ප්‍රහාර වේ. පළමු කාර්තුව තුළ QR කේත (QR code phishing) ආශ්‍රිත ප්‍රහාර 146%කින් ඉහළ ගොස් ඇති අතර, මාර්තු මාසයේදී පමණක් එවැනි සිදුවීම් මිලියන 18.7ක් වාර්තා වී තිබේ. එසේම CAPTCHA පරීක්ෂාවන් භාවිතා කරමින් සිදුකරන ප්‍රහාර ද මාර්තු මාසයේදී මිලියන 11.9ක් දක්වා ඉහළ ගොස් ඇත.
ව්‍යාපාරික ඊමේල් අවභාවිත කිරීමේ (Business email compromise – BEC) ප්‍රහාර මිලියන 10.7ක් මෙම කාර්තුව තුළ වාර්තා වී තිබේ. මෙහිදී ප්‍රහාරකයන් මුදල් ඉල්ලීම් කිරීමට පෙර, අදාළ පුද්ගලයන් සමඟ සුහදශීලී සංවාද පවත්වමින් විශ්වාසය ගොඩනගා ගැනීමට උත්සාහ කරන බව නිරීක්ෂණය වී ඇත. යුරෝපෝල් (Europol) වැනි ජාත්‍යන්තර ආයතන සමඟ එක්ව සිදුකළ වැටලීම් හේතුවෙන් ඇතැම් ප්‍රහාරක ජාලයන්හි ක්‍රියාකාරිත්වය යම් ප්‍රමාණයකින් අඩාල කිරීමට ද හැකි වී තිබේ.මෙවැනි තර්ජනවලින් ආරක්ෂා වීම සඳහා රහස්පද භාවිත නොකරන සත්‍යාපන ක්‍රම (Passwordless authentication) හඳුන්වා දීම සහ පරිශීලකයන්ට ආරක්ෂක පුහුණුව ලබාදීම වැදගත් වන බව මයික්‍රොසොෆ්ට් ආයතනය නිර්දේශ කරයි.














