අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර ඔහුගේ හිස කඳෙන් වෙන් කර රැගෙන ගොස් මාමඩල හන්දියේ පිළිරුවක් මත තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සැඟවී සිටියදී පොලිසිය විසින් මොවුන් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඝාතනයට යොදාගත් තියුණු ආයුධයක් ද සොයාගෙන ඇත.
තම සොහොයුරා මරා දැමීමේ වෛරය පිරිමසා ගැනීම සඳහා ලක්මාල් නමැත්තාගේ බෙල්ල කපාගෙන ගොස් පිළිරුව මත තැබූ බව ප්‍රධාන සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර තිබේ. මාමඩල ප්‍රදේශයේ දෙපාර්ශ්වයක් අතර කසිප්පු ජාවාරම් සම්බන්ධයෙන් කාලයක සිට පැවති ආරවුලක් මෙම ඝාතනයට මුල් වී ඇත. මීට මාස කිහිපයකට පෙර එක් පාර්ශ්වයක තිදෙනෙකු ඝාතනය කර ඇති අතර එම ත්‍රිත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු වූ ලක්මාල් ඇතුළු පිරිස ඇප මත පැමිණ සිටියදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත.
ඉකුත් 11 වැනිදා රාත්‍රි 9.30 ට පමණ අධික ලෙස බීමත්ව ආයුධ සන්නද්ධව පැමිණි සැකකරුවන් ලක්මාල්ගේ නිවසට කඩාවැදී ඔහු ඝාතනය කර හිස කොටස රැගෙන ගොස් මාමඩල හන්දියේ රත්නාවලී පිළිමයේ දෑත් මත තබා පලා ගොස් තිබේ. ප්‍රහාරයෙන් ලක්මාල්ගේ ඥාතියෙකු ද තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර සැකකරුවන් අද (14) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.














