27 April 2024
#දේශීය

කොළඹ ක්‍රීඩකයන්ට, ඇමති දිනේන්ගෙන් ක්‍රීඩා උපකරණ පිරිනමයි

ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ එල්ලේ ක්‍රීඩාව, තවත් ව්‍යාප්ත කිරීමට කැපවිය යුතු බව, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10 ) කොළඹ පිලිප් ගුණවර්ධන ක්‍රීඩා පිටියේදී , අමාත්‍යවරයාගේ විමධ්‍යගත අරමුදලින් කොළඹ නගරයේ ක්‍රීඩා සමාජ සහ යෞවන සමාජ රැසකට ක්‍රීඩා භාණ්ඩ බෙදාදීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

කොළඹ නගරයේ තරුණ තරුණියන්ට තමන්ට අවශ්‍ය විවිධ ක්‍රීඩාවන්හි නිරත වීමේ ඉඩකඩ අඩු වුවත්, ඔවුන්ට ඇති ශක්තිය ඉතා ඉහළ මට්ටමක පවතින බවද ඔහු කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, පක්ෂ භේදයකින් තොරව, ක්‍රීඩකයන් සඳහා උපකාර කළ යුතු බවය. කොළඹ කුණු වළක් ලෙස තිබූ ස්ථානයක්, සුගතදාස ක්‍රීඩාංගනය බවට පත් කළ සුගතදාස අමාත්‍ය වරයා පිළිබඳ සිහිපත් කළ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ඉන්පසු ක්‍රීඩා අමාත්‍යවරයා වූ වින්සන්ට් පෙරේරා මහතා, විපක්ෂයේ මන්ත්‍රීවරයකු වූ තමන්ට, තරුණයන්ට බෙදාදීම සඳහා ක්‍රීඩා උපකරණ ලබාදුන් අන්දමත්, කෘතවේදීව සිහිපත් කළේය.

කොළඹ සංවර්ධන කමිටුවේ සභාපති පා.ම. යදාමිණි ගුණවර්ධන මහතාගේ ඉල්ලීම මත, ක්‍රිකට්, පාපන්දු, එල්ලේ ආදී ක්‍රීඩා රැසක් සඳහා ක්‍රීඩා භාණ්ඩ බෙදා දුන් එම අවස්ථාවට, මන්ත්‍රීවරයා මෙන්ම කොළඹ නගර සභා මන්ත්‍රීවරුද, ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක්ද එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *