බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ රාජ්‍ය දෘශ්‍ය කලා අනුමණ්ඩලයේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (12) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. දෘශ්‍ය කලා ක්ෂේත්‍රයේ ප්‍රගමනය සහ කලාකරුවන් මුහුණ දෙන කාලීන ගැටලු රාශියක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසා බැලූ අතර වැදගත් තීරණ කිහිපයක් ද ගනු ලැබීය.
පුවත්පත් කලාවේ නියුතු චිත්‍ර ශිල්පීන් වර්තමානයේ මුහුණ පාන විවිධ ගැටලු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු විය. තාක්ෂණික දියුණුවත් සමඟ පුවත්පත් කලාවේ දෘශ්‍ය අංගයන්හි සිදුවී ඇති වෙනස්කම් සහ එම ශිල්පීන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කෙරිණි. මීට අමතරව ජාතික කලාභවනේ කටයුතු විධිමත් කිරීම සහ ජාතික ඡායාරූප මධ්‍යස්ථානයක් අලුතින් පිහිටුවීම පිළිබඳව ද මෙහිදී මූලික තීරණ ගනු ලැබීය.
කලා මණ්ඩලයට වෙන් කරනු ලබන රාජ්‍ය ප්‍රතිපාදන එහි අනුමණ්ඩල නවය අතර සාධාරණව බෙදා දීම පිළිබඳව ද අදහස් හුවමාරු විය. මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා කලා කටයුතු සඳහා වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබාගත හැකි බව කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. චිත්‍ර, මූර්ති, කැටයම්, ඡායාරූප සහ ගෘහනිර්මාණ ශිල්පය ඇතුළු සෑම දෘශ්‍ය කලා අංශයකම උන්නතිය වෙනුවෙන් හරවත් සංවාදයක් අමාත්‍යවරයා විසින් මෙහෙයවනු ලැබීය.
දිවයින පුරා පිහිටි සංස්කෘතික මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම මධ්‍යස්ථාන හරහා ප්‍රාදේශීය කලාකරුවන්ගේ දක්ෂතා ඔප්නැංවීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු විය. මෙම අවස්ථාවට සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ කේ.එස්. දිල්හානි මහත්මිය, දෘශ්‍ය කලා අනුමණ්ඩලයේ සභාපති ප්‍රගීත් රත්නායක මහතා ඇතුළු දෘශ්‍ය කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ කලාකරුවෝ රැසක් සහභාගී වූහ.
















