පානදුර අධිකරණයේ පවතින ගැටළු පිළිබඳව සොයා බලා විසඳුම් ලබාදීමේ අරමුණින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (03) පෙරවරුවේ එම අධිකරණ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙම චාරිකාවේදී 1929 වසරේ ඉදි කරන ලද පානදුර අධිකරණ සංකීර්ණයේ පෞරාණික වටිනාකම ආරක්ෂා වන පරිදි එය ප්‍රතිසංස්කරණය කිරීම සාකච්ඡාවට ලක් විය. එමෙන්ම අධිකරණය වටා ඇති තාප්පය සුදුසු පරිදි සකස් කිරීම පිළිබඳවද අවධානය යොමු කෙරිණි. ඊට අමතරව නීතිඥවරුන්ට සහ අධිකරණ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
මෙම අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නිලන්ති කොට්ටහච්චි, පානදුර නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ශෙවොන් ගුණරත්න, ලේකම් නීතිඥ නිල්රුවන් කුලසුරිය, නීතිඥ සුගත් හදුන්ගේ යන මහත්ම මහත්මීන් ද, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු) එස්. ඒ. කේ. සුභසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉංජිනේරු අංශයේ නිලධාරීන් සහ නීතිඥවරුන් පිරිසක් එක්ව සිටියහ.
















