27 April 2024
#දේශීය #පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා අමෙරිකා එක්සත් ජනපද නියෝජිත පිරිසක් හමුවෙයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, අමෙරිකා එක්සත් ජනපද නියෝජිත පිරිසක් පසුගිය 23වනදා ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාවට පැමිණි අවස්ථාවේදී හමු විය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රිචඩ් ආර්. වර්මා මහතා, ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් ඇතුළු එරට නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

මෙම අවස්ථාවට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ද අමාත්‍යවරයා සමඟ එක්විය.

මෙහිදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඔස්සේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් උපායමාර්ගික වශයෙන් සහ මෙරට හමුදාවන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා විශේෂයෙන් නාවික ක්ෂේත්‍රය තුළ සැලකිය යුතු සහයෝගයක් දක්වා ඇති බවයි.

මෙම සබඳතාවල ප්‍රතිඵලයක් ලෙස පසුකාලීනව බලපා ඇති සමුද්‍රීය අභියෝගවලට පවා සාර්ථකව මුහුණදීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සාගර කලාපය තුළ විපතට පත් සමුද්‍ර සහ ධීවර නෞකා ආවේක්‍ෂණ සහ මුදාගැනීමේ මෙහෙයුම් වඩාත් ඵලදායි ලෙස සිදුකිරීමට නාවික හමුදාවට හැකි වූ බව හෙතෙම පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *