27 April 2024
#දේශීය

සුවසැරිය කාර්ය මණ්ඩලය ගැන රාජ්‍ය ඇමැති සුදර්ශනීගේ අවධානය

1990 සුවසැරිය ගිලන්රථ සේවය කොවිඩ් 19 පාලනයේදී සැලකිය යුතු කාර්යභාර්යක් ඉටුකරනු ලබන අතර ඔවුන් කොවිඩ් 19 පාලනයේදි ඉදිරිපෙළ සාමාජිකයින් ලෙස හැදින්විය හැකි බැවින් එන්නත් ලබාදීමේදී සුවසැරිය ගිලන්රථ සේවයටද ප්‍රමුඛතාවය ලබාදීමට කටයුතු කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සදහන් කලේ රාජගිරියේ පිහිටි 1990 සුවසැරිය ආයතනයේ නිරීක්ෂණයට එක්වෙමිනි.

කොවිඩ් 19 හමුවේ සුවසැරිය ගිලන්රථ සේවය සිදුකරනු ලබන කාර්ය භාර්ය, එහි මෙහෙයුම් කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබදව නිරීක්ෂණයට ලක්කල රාජ්‍ය අමාත්‍යවරිය ආයතනයේ පවතින අඩුපාඩු, ඉදිරි සැලසුම් සහ ඉදිරියේ ක්‍රියාකල යුතු ආකාරය සම්බන්ධයෙන් ආයතනයේ බලධාරීන් සමග සාකච්ඡා කරනු ලැබුවාය.

කොවිඩ් රෝග පාලනය සදහා මගීන් ප්‍රවාහනයට අදාල සියලු උපකරණ වලින් සමන්විත ගිලන්රථ 297කින් සහ රියදුරන් ඇතුළු සම්පූර්ණ කාර්ය මණ්ඩලය 1399කින් යුක්ත වන අතර එහි ඇමතුම් මධ්‍යස්ථානය වෙත දිනකට දුරකතන ඇමතුම් 5300කට අධික ප්‍රමාණයක් ලැබෙන අතර මේවන විට දුරකතන ඇමතුම් 3,424,590ක ප්‍රමාණයක් සුවසැරිය මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත ලැබී ඇත. සුවසැරිය ගිලන්රථයක සේවාව සදහා එක් දිනක එක් කාර්යක් සදහා සාමාන්‍ය වියදම රු.5332ක මුදලක් වන අතර එය සම්පූර්ණයෙන්ම ජනතාව වෙත නොමිළේ ලබාදෙන සේවාවකි. මේ සදහා පසුගිය මාස 10ක වියදම රු.මිලියන 1500කට අධිකය.

මෙම අවස්ථාවට ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලනය පිළිබද රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සුවසැරිය පදනමේ සභාපති දුමින්ද රත්නායක, එහි ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා, ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ශ්‍රී ලාල් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *