27 April 2024
#දේශීය

ඒකීය රටක් තුළ බලය බෙදීමට එකඟයි – ඇමති ප්‍රසන්න

ඒකීය රටක් තුළ බලය බෙදීමට එකඟ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුලතිව් දිස්ත්‍රික්කයේ ඔට්ටුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුලම්මුරිප්පු, කච්චිලෛයිමඩු, කතලියාරු, ඔලුමඩු යන ප්‍රදේශවල ඉදිකළ නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (03) එක්වෙමිනි.

ඇමතිවරයා අවධාරණය කර සිටින්නේ පරිපාලන බලය බෙදිය යුතුයි යන ස්ථාවරයේ ආණ්ඩුව සිටින බවයි.

ඉදිරි කාලය තුළ උතුරු නැගෙනහිර පළාත් තුළ නැනෝ ජල පිරිපහදු නව මධ්‍යස්ථාන 400ක් ඉදිකරන බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.

උතුරු නැගෙනහිර පළාත් වල අවතැන් වූ ජනතාව නැවත පදිංචි කළ ගම්මානවල මෙම නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකර ඇත. මෙය “සැමට සුරක්ෂිත පානීය ජලය” ලබාදීමේ රජයේ සංකල්පය යටතේ ක්‍රියාත්මකයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නැවත පදිංචි කිරීමේ අංශය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.

ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 4ක්, කිලිනොච්චි හා වව්නියාව දිස්ත්‍රික්කවල නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර 23 බැගින් ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය වැය කළ මුදල රුපියල් මිලියන 205කි.

එහි පළමු අදියර යටතේ නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන 25ක් ජනතා අයිතියට පත් කෙරේ.

මෙම නැනෝ ජල පිරිපහදු යන්ත්‍රාගාර මගින් දිනකට ජලය ලීටර 2000ක් පමණ පිරිසිදු කිරීමේ හැකියාව පවතින බවද නැවත පදිංචි කිරීමේ ඒකකය පවසයි.

නැනෝ තාක්ෂණය මගින් ජලය පිරිපහදු කිරීමේදී ජලයෙහි අඩංගු ඉහළ සංයුජතාවකින් යුත් ලවණ වර්ග හෝ ද්වි සංයුජමය මූලද්‍රව්‍ය ඉවත් කරයි. තවද නැනෝ පිරිපහදු මගින් විෂ ද්‍රව්‍ය, බැර ලෝහ සහ අනෙකුත් කාබනික සංයෝග බැහැර කර ජලයෙහි දුඟද හා රස ඉවත් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා, “අපේ රටේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව කළ ගුණ දන්නා මිනිස්සු බව මම දන්නවා. අවුරුදු 30ක් යුද්ධයක් තිබුණු මේ ප්‍රදේශ සංවර්ධනය කිරීමේ වගකීම රජයක් ලෙස අපිට තිබෙනවා. උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත් සියළු දෙනා එකයි. අපේ දරුවන් ලබන අධ්‍යාපනය උතුරේ දරුවන්ටත් ලැබිය යුතුයි. නමුත් ඒ අවස්ථාව යුද සමයේදී මේ දරුවන්ට ලැබුණේ නෑ. මේ රටේ අධ්‍යාපනය තුළ සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනම සියළු දරුවන්ට ඉගැන්විය යුතුයි. ජනතාවගේ මානව අයිතිවාසිකම් ලබා දීම සෑම රජයකම වගකීමක්. සනත් නිශාන්ත ඇමතිවරයා මැදිහත් වෙලා උතුරු නැගෙනහිර ප්‍රදේශයේ නැනෝ තාක්ෂණය යටතේ පානීය ජල පිරිපහදු ව්‍යාපෘති 50ක් අවසන් කර තිබෙනවා. ඉදිරියේදීත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල තවත් ජල පිරිපහදු ඒකක 400ක වැඩ අවසන් කිරීමට බලාපොරොත්තු වනවා. නිවාස ආධාර ලබා දී සෑම පවුලකටම නිවාසක් ලබා දිය යුතු යන ස්ථාවරයේ අපි ඉන්නවා. මේ ප්‍රදේශයේ නායකත්වය දරන කාදර් මස්තාන් ඇමතිතුමා මේ ප්‍රදේශයේ ජනතාවට නිවාස, පානීය ජලය දෙන්න විශාල කාර්ය භාර්යක් සිදු කළා. එතුමා ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරමින් ජනතාවගේ ගැටළු වලට විසදුම් ලබා දෙන්න කටයුතු කරනවා. අද නැවත බලය බෙදීම ගැන සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒකීය රටක් යටතේ බලය බෙදීම අපි හැමෝගේම බලාපොරොත්තුවයි. පරිපාලන බලය බෙදිය යුතු යැයි ස්ථාවරයේ අපි හැමෝම ඉන්නවා. ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන්න කියලා උතුරු නැගෙනහිර පළාත නියෝජනය කරන ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා.”යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.


මෙම අවස්ථාවට ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදීර් මස්තාන්, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද, අතිරේක ලේකම් (නිවාස) ඩබ්ලිව්.එම්. ආනන්ද, අධ්‍යක්ෂ වී. ප්‍රේමචන්දිරම් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *