විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා මෙල්බර්න් නුවර පිහිටි වික්ටෝරියානු ආයෝජන මධ්‍යස්ථානයේ දී පැවති “ශ්‍රී ලංකා – වික්ටෝරියා කර්මාන්ත වටමේස සාකච්ඡාව” ඇමතීමට එක් විය. ‘ග්ලෝබල් වික්ටෝරියා’ ආයතනය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව, රැකියා, කුසලතා, කර්මාන්ත සහ කලාපීය දෙපාර්තමේන්තුවේ කර්මාන්ත, වෙළඳ සහ ආයෝජන පිළිබඳ නියෝජ්‍ය ලේකම් ඩැනී ජැරට් මෙනවියගේ මෙහෙයවීමෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ වික්ටෝරියා ප්‍රාන්තය අතර ද්විපාර්ශ්වික වෙළඳ, ආයෝජන, සංචාරක සහ අධ්‍යාපන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අවධානයට ලක් විය. වෙළෙඳ, සංචාරක, ගුවන් සේවා, යටිතල පහසුකම්, අධ්‍යාපන සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ව්‍යවසායකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
එහිදී අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාව තුළ, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය කේන්ද්‍ර කරගනිමින් පවතින නව ආයෝජන අවස්ථා ගවේෂණය කරන ලෙස වික්ටෝරියානු ආයෝජකයින්ට ආරාධනා කර ඇත. මීට අමතරව, ශ්‍රී ලංකාව ආරක්ෂිත, ආකර්ෂණීය සහ ඉහළ විභවතාවක් සහිත සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට සහය වන ලෙස අමාත්‍යවරයා වික්ටෝරියානු රජයෙන් ඉල්ලා සිටියේය.
















