මේ දිනවල ඇතැම් දිස්ත්‍රික්කවල පැතිර යන ‘එන්ටරො වෛරස මෙනින්ජයිටීස්’ (Enterovirus Meningitis) රෝගය පාලනය කිරීම සහ පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ හරහා සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
මෙම රෝගය ළමුන්ට සහ ප්‍රතිශක්තිය අඩු පුද්ගලයින්ට වැඩි වශයෙන් බලපෑම් ඇති කරන බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙයි. පසුගිය අප්‍රේල් මාසයේදී මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය ප්‍රදේශයෙන් මෙම රෝගීන් මුල්වරට වාර්තා වූ අතර, මේ වන විට නුවරඑළිය, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවලද රෝග ව්‍යාප්තියක් හඳුනාගෙන ඇත.
වසංගත රෝග විද්‍යාත්මක සහ පාරිසරික විමර්ශනවලට අනුව, වාර්තා වන රෝගීන් අතර පාසල් සිසු සිසුවියන් බහුලව සිටින බව තහවුරු වී තිබේ. මෙම වෛරසය තවදුරටත් පාසල් තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත පියවරයන් පිළිබඳව පාසල් ප්‍රජාව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස මෙම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී ඇත.
















