පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දෙවැනි විශාලම ජලාශය වන මින්නේරිය වැවේ ජල මට්ටම 36%ක් දක්වා පහත වැටී තිබේ. ජලාශයේ සමස්ත ධාරිතාව අක්කර අඩි 110,000ක් පමණ වන නමුත්, එය මේ වනවිට අක්කර අඩි 40,000ක් දක්වා අඩුවී ඇත. කෙසේ වෙතත්, මින්නේරිය ජලාශයෙන් මෙවර යල කන්නයේ කුඹුරු සඳහා ජලය නිකුත් කිරීම තවත් දින දෙකකින් අවසන් කිරීමට නියමිතය.
මේ අතර, දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශවලද ජල මට්ටම සැලකිය යුතු ලෙස පහත බැස තිබේ. පරාක්‍රම සමුද්‍රයේ සමස්ත ධාරිතාව අක්කර අඩි 116,000ක් වුවත්, මේ වනවිට එය අක්කර අඩි 63,000ක් හෝ 56%ක් දක්වා පහත බැස ඇති අතර, යල කන්නය සඳහා ජලය ලබාදීම දැනටමත් අවසන් කර ඇත. එසේම, අක්කර අඩි 21,600ක ධාරිතාවකින් යුත් ගිරිතලේ ජලාශයේ ජල මට්ටමද සීඝ්‍රයෙන් පහත බසින අතර, එය මේ වනවිට අක්කර අඩි 8,500කට අඩුවී තිබේ. මෙම ජලාශයෙන්ද යල කන්නය සඳහා ජලය මුදා හැරීම මේ වනවිට නවතා දමා ඇත.













