ඕමානයේ රහසිගතව සැඟවී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් මෝදර චතූ නොහොත් සමිට්පුර චතූ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඕමානයේදී අත්අඩංගුවට ගෙන අද (අගෝස්තු 18) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණ තිබෙනවා.
කොළඹ 15, මෝදර, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දිමුතු චතුරංග පෙරේරා, 2025 මාර්තු 22 වන දින ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ඕමානය වෙත පළා ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙකු ද වන මොහු, මීට අමතරව මෙරට තුළ සිදු කරන ලද බරපතල අපරාධ රැසක විමර්ශන කටයුතු සඳහා පොලිසියට අත්‍යාවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකි.
මොහු අද දින අලුයම 4.53 ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.-437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟා වී ඇති අතර, ඒ වන විටත් දැඩි ආරක්ෂක විධිවිධාන යොදා තිබිණි.
පසුව මොහු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දැඩි ආරක්ෂක රැකවල් මැද කොළඹ අපරාධ කොට්ඨාශය වෙත අද උදෑසන 8.20 ට පමණ රැගෙන ගොස් ඇත.
















