මොනරාගල දිස්ත්‍රික්කය තුළ ජල සම්පාදන සේවාව අඛණ්ඩව සහ කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ගතයුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් 2026 අගෝස්තු 27 දින ජල සම්පාදන අමාත්‍ය ගරු සුසිල් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී. පවතින වියළි කාලගුණික තත්ත්වය සහ ඉදිරියේදී ඇතිවිය හැකි එල් නිනෝ (El Niño) වැනි කාලගුණික විපර්යාස සැලකිල්ලට ගනිමින්, ජනතාවට අඛණ්ඩ පානීය ජල සේවාවක් සහතික කිරීම මෙහි මූලික අරමුණ විය.
මෙම සාකච්ඡාවේදී ඉතා ඉක්මනින් පිළිසකර කිරීමට හඳුනාගෙන ඇති නළ ලිං 257ක් සහ ලිං 349ක් කඩිනමින් අලුත්වැඩියා කර භාවිතයට ගැනීමටත්, ජලය ලබා ගැනීම සඳහා හඳුනාගෙන ඇති බවුසර් පොයින්ට් 77ක් ඉතා ඉක්මනින් ස්ථාපනය කිරීමටත් තීරණය කෙරිණි. දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ යාන්ත්‍රණයක් යටතේ ක්‍රියාත්මක වෙමින් හදිසි ආපදා තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා අවශ්‍ය පූර්ව සූදානම් වීම් සහ අවදානම් කළමනාකරණ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අවධාරණය කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ජල සම්පාදන අමාත්‍යවරයා සමඟින් මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති, වෙළඳ, වාණිජ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.එම්. ජයවර්ධන, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්. සරත් කුමාර යන මහත්වරුන් ඇතුළු දේශපාලන අධිකාරිය, දිස්ත්‍රික් ලේකම් ඒ.ජී. නිශාන්ත සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.














