27 April 2024
#දේශීය

අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණෝ යුග පුරුෂයෙක් – ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල

ආගම් හා ජාතීන් වශයෙන් චෛතිසිකව බෙදී වෙන් වී සිටි ලාංකේය ජාතියෙන් එම දුරස්වීම් ඉවත් කර ලාංකික ජන සමාජයක් තහවුරු කිරීමට මෙරට ආගමික නායකයන් සමග දැඩි උද්යෝගයකින් කටයුතු කළ අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපාණෝ මෙරට ආගමික ඉතිහාසයේ යුග පුරුෂයෙක් බව ශ්‍රී ලංකා මහා බෝධි මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ පවසති.

අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපාණන් ගේ ස්වර්ගස්ථවීම පිළිබඳ පණිවිඩය බලවත් ශෝකයෙන් යුතුව ශ්‍රී ලංකා මහාබෝධි සංගමය පිළිගන්නා බව දන්වන බානගල හිමිපාණෝ, ශ්‍රී ලාංකේය ජන සමාජයේ බෞද්ධ හා කිතුනු ප්‍රජාව වෙන්කර තිබූ දැවැන්ත පවුර ඉවත් කර, අගරදගුරු මැදුර හෙවත් bishop house බෞද්ධ භික්ෂූන්ට සමීප නිවහනක් බවට පත් කරමින්, අප සියලු දෙනා ලාංකික ජනතාව යන ගැඹුරු හැඟීම කිතුනු හා බෞද්ධ ජන සමාජය තුළ ස්ථාපිත කිරීමට ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපාණෝ
පුළුල් මෙහෙවරක් ඉටු කළ බව වැඩිදුරටත් පවසති.

ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපාණන්ගේ වසර අනූවක ජීවිත කාලයෙන් වැඩිම කාලයක් කැප කළේ ලාංකික ජන සමාජයේ බෞද්ධ කිතුනු ප්‍රජාව අතර තිබූ දුරස්ථ භාවය අවම කිරීමටයි.
ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපාණෝ අනුදත් එම ආගමික සහජීවනශීලී මාර්ගය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් ඒ මඟ යන වත්මන් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙරට ආගමික සහජීවනය උදෙසා ශ්‍රී ලාංකික ජනතාවට නායකත්වයදීම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරන බව ද බානගල නාහිමියෝ පවසති.
ආගමික සහජීවනය උදෙසා කැප වූ උන් වහන්සේ සමග ඒ සඳහා වූ විවිධ සම්මන්ත්‍රණ සමුළු වලට අපට ද උන් වහන්සේ සමඟ සහභාගි වීමට ලැබීම භාග්‍යයකි.

අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු හිමිපාණන් ට මෝක්ෂ සුවය ලැබේවායි පතමු.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *