27 April 2024
#දේශීය #පුවත්

මෛත්‍රීගේ ප්‍රකාශය දේශපාලන කුමන්ත්‍රණයක් කියලා මන්ත්‍රී මරික්කාර්ට සැකයි

පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයා තමන් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකරන ප්‍රකාශය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් තිබෙනවාදැයි සැකයක් මතුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (25) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදී එස් එම් මරික්කාර් මහතා මෙසේ වැඩිදුරටත් අදහස් දැක්වීය ‘‘හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගේ පුද්ගලයෙක් ජනාධිපතිවරයා කරන්න අපි විශාල කැපවීමක් සිදුකළා. නමුත් අද වනවිට ඒ පිළිබඳ තිබෙන්නේ විශාල දුකක්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව ජනාධිපතිකරන්න මහන්සි වුණා අපේ පාක්ෂිකයන් පිළිබඳවත් විශාල දුකක් ඇතිවුණා. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ ජිවිත සමඟ සෙල්ලම් කරන්න කිසිදු පුද්ගලයෙකුට ඉඩ නොදිය යුතුයි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා දෙයක් තිබෙනවානම් තමන්ට ලැබුණු තොරතුරුක් තිබෙනවානම් ඒ සම්බන්ධයෙන් අධිකරණයට හෝ පොලිසියට දැනුම් දෙන්න පුලුවන්. පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම විසින් විමර්ශනයක් පැවැත්වුවා , අධිකරණයේ නඩු ගණනාවක් තිබුණා , ඒ කිසිදු තැනකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කරේ නෑ. දැන් ඔහු නින්දෙන් ඇහැරුනා වගේ කතා කරනවා. මේක දේශපාලන කුමන්ත්‍රණයක් ද කියලා සැකයකුත් මතුවෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පක්ෂය මේවනවිට කැලි වලට කැඩිලා ගිහින් තිබෙනවා. ඔහුට පොදුජන පෙරමුණ සමඟ කටයුතු කිරිමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. ඔහුට ජාතික ජනබලවේගය සමඟත් එකතු වෙන්න බෑ. සමගි ජන බලවේගය සමඟත් ඔහු එකතු වෙන්න බෑ. ඒ නිසා මෙය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය ඔහුගේ උප්පරවැට්ටියක්ද කියන සැකය මතුවෙනවා. කවුරු මොන දේශපාලන කුමන්ත්‍රණ සිදුකළත් පාස්කු ඉරිදා ත්‍රස්ථ ප්‍රහාරයෙන් මියගිය ජනතාව වෙනුවෙන් සාධාරණයක් ඉටු විය යුතුයි. පාස්කු ඉරිදා ත්‍රස්ථ ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය රටට හෙළි කිරිමේ වගකීමක් තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණයට , පොලිසියට , කොමිසන් සභාවට නොකියපු එකපාරට දැන් කියන කතාව විහිළුවට ගන්න නොහැකියි. මේ පිළිබඳව දැඩි විමර්ශනයක් සිදුකරලා අවශ්‍ය තොරතුරු ලබාගත යුතුයි යැයි මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *