වත්මන් මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්තිය සහ දේශපාලන හැසිරීම දැඩි ලෙස විවේචනය කරමින්, “මාලිමාව” නමින් නව මුහුණුවරක් හදාගත්තේ රටේ ජනතාව මුලා කිරීමට පමණක් බව සමගි ජන බලවේගයේ (SJB) කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, පසුගිය රජයන් නියමිත වේලාවට මැතිවරණ නොපවත්වන බවට ජනතා විමුක්ති පෙරමුණ (JVP) ප්‍රමුඛ ජාතික ජන බලවේගය (NPP) එදා දැඩි ලෙස දෝෂාරෝපණය කළ ද, අද වන විට ඔවුන් ද බලයට පත්ව පැරණි පාලකයන්ගේ ක්‍රමවේදයම අනුගමනය කරමින් සිටින බවයි.
“අපි සියලුදෙනාම දන්නවා මේ මාලිමා ආණ්ඩුව එදා හැම තැනකදීම පරණ ආණ්ඩුවලට දොස් කිව්වේ ඡන්දය නියමිත වෙලාවට පවත්වන්නේ නැහැ කියලා. මැතිවරණ කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරනවා කියලා එදා කෑගැහුවා. හැබැයි අද ඔවුන් බලයේ ඉන්නකොටත් සිද්ධවෙන්නේ ඒ දේමයි. නියමිත වෙලාවට ඡන්ද පවත්වන්න මේ ආණ්ඩුවටත් වුවමනාවක් නැහැ,” යනුවෙන් රහ්මාන් මහතා සඳහන් කළේය.
විශේෂයෙන්ම මේ වන විට කල් දමා ඇති පළාත් සභා මැතිවරණය ඇතුළු පළාත් පාලන මැතිවරණ පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීමට වත්මන් රජය කටයුතු කළ යුතු බවත්, ජනතාව මාලිමාව කෙරෙහි තැබූ විශ්වාසය අර්බුදයට ලක් නොකර වහාම මැතිවරණ ක්‍රියාවලිය විධිමත් කරන ලෙසත් මන්ත්‍රීවරයා මෙහිදී රජයට බලකර සිටියේය.
















