ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන එම්.ආර්.ඒ.ජී.බී. මුතුකුඩේ මහතා, මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ හා විගණන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත් කර තිබේ.
වසර තිහකට ආසන්න කාලයක් පුරා රාජ්‍ය සේවයේ නිරත වෙමින් මුතුකුඩේ මහතා ලබා ඇති අත්දැකීම් සුවිශේෂීය. ඒ මහතා මීට පෙර මුදල් අමාත්‍යාංශය යටතේ පවතින කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හා අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙසත්, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙසත් කටයුතු කර ඇත. එසේම, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරීවරයා ලෙස මෙන්ම ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන රැසක මුදල් අධ්‍යක්ෂ සහ ගණකාධිකාරී තනතුරු හොබවමින් රාජ්‍ය මූල්‍ය පාලන ක්ෂේත්‍රයෙහි විශාල පළපුරුද්දක් ලබා සිටී.
රජරට විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඒ මහතා, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයෙන් (SLIDA) සිය පශ්චාත් උපාධිය සම්පූර්ණ කර ඇත. එපමණක් නොව, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය, මූල්‍ය කළමනාකරණය හා ව්‍යාපෘති කළමනාකරණය පිළිබඳව එක්සත් රාජධානිය, තායිලන්තය, මැලේසියාව සහ චීනය වැනි රටවලින් උසස් වෘත්තීය පුහුණු ලබා ඇති එතුමා, රාජ්‍ය සේවය තුළ ඉහළ පිළිගැනීමක් සහිත අතිශය කාර්යක්ෂම නිලධාරියෙකු ලෙස සැලකේ.
















