සිංගප්පූරුවේ පැවති Global Economic Cooperation (GEC) East සමුළුවේදී, ආසියානු සංවර්ධන බැංකුව සඳහා හිටපු එක්සත් ජනපද තානාපති Curtis S. Chin මහතා සහ Milken Institute හි සාමාජිකයන් සමඟ සංවාද මණ්ඩලයකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දීය සාගර කලාපයේ අනාගතය පිළිබඳ තම දැක්ම ඉදිරිපත් කළේය.එම සංවාද මණ්ඩලයේදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කළේ අප දශකයකට නොව, ඉන්දීය සාගරයේ සියවසකට පිවිසෙමින් සිටින බවයි. ශතවර්ෂ ගණනාවක් පුරා විවිධ ශිෂ්ටාචාර සම්බන්ධ කළ තෝතැන්නක් වූ ඉන්දීය සාගරය, දැන් අනාගතය සම්බන්ධ කරන මාර්ගය බවට පත් විය යුතු බව ඔහු පැවසීය. ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව සම්බන්ධ කරන විශ්වාසනීය සම්බන්ධක මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් විය යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය.
තවද, හෙට ලෝකයට අවශ්‍ය රැකියා සඳහා අපගේ තරුණ පරපුර සූදානම් කළ යුතු අතර, අද පවතින රැකියා පිළිබඳව පමණක් සිතීම ප්‍රමාණවත් නොවන බවත් ඔහු සඳහන් කළේය. නවෝත්පාදනය සහ සහයෝගීතාව හරහා අදාළ වපසරිය නිර්මාණය කර ගැනීමේ හැකියාව තුළින් ඊළඟ පරපුරට නායකත්වය ලබා දීමට ශක්තිය ලබා දිය යුතු බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














