ණය ගෙවීමේදී අතීතයේදී ගැටලුවලට මුහුණ දුන්නද, පසුව එම ණය සම්පූර්ණයෙන් පියවා අවසන් කළ පුද්ගලයන්ට සහ ව්යාපාරිකයන්ට යළි බැංකු ණය ලබාගැනීමේදී මුහුණ දීමට සිදුවන බාධා ඉවත් කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
ණය තොරතුරු කාර්යාංශය (CRIB) මගින් නිල වශයෙන් අසාදු ලේඛනගත කිරීමක් සිදු නොවූ අවස්ථාවලදී පවා, ගෙවා අවසන් කළ ණය පිළිබඳ අතීත තොරතුරු වසර පහක් දක්වා වාර්තාවල පැවතීම හේතුවෙන් නැවත ණය ලබාගැනීමේදී බාධා මතුවන බව මන්ත්රීවරයා පෙන්වා දෙයි.
මෙම ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා 2027 අයවැය මගින් යෝජනා පහක් ක්රියාත්මක කරන ලෙස ඔහු ඉල්ලා ඇත.
ඒ අනුව, ණය සම්පූර්ණයෙන් පියවූ පසු වැඩකරන දින පහක් ඇතුළත CRIB වාර්තා යාවත්කාලීන කිරීම, ගෙවා අවසන් කළ ණය “Fully Settled/Closed” ලෙස පැහැදිලිව සටහන් කිරීම සහ ණය ඉල්ලුම්කරුවන්ගේ අතීත වාර්තා පමණක් නොව වර්තමාන ආදායම හා ණය ආපසු ගෙවීමේ හැකියාව ද සලකා බැලීමට බැංකුවලට මාර්ගෝපදේශ නිකුත් කිරීම එම යෝජනා අතර වේ.
එසේම, ණය තොරතුරු වාර්තාවල අතීත තොරතුරු රඳවා තබාගැනීමේ කාලසීමාව ජාත්යන්තර ක්රමවේද සලකා බලා 2027 වසර තුළ සමාලෝචනය කිරීම සහ සියලු ණය වගකීම් පියවා ඇති සුළු හා මධ්ය පරිමාණ ව්යාපාරිකයන්ට නැවත ව්යාපාර ආරම්භ කිරීමට “Second Chance Business Loan Scheme” නමින් විශේෂ ණය වැඩසටහනක් හඳුන්වාදීම ද ඔහු යෝජනා කර තිබේ.
අතීතයේදී ණය ගෙවීමේ අපහසුතාවලට මුහුණ දුන් පුද්ගලයන්ට පසුව එම ණය පියවා අවසන් කළ පසු නැවත ආර්ථික ක්රියාකාරකම්වලට සම්බන්ධ වීමට අවස්ථාව සැලසීම වැදගත් බව නාමල් රාජපක්ෂ මහතා සිය ලිපියෙන් අවධාරණය කර ඇත.















