අධ්‍යාපනය යනු සෑම දරුවෙකුටම හිමිවිය යුතු මූලික අයිතිවාසිකමක් මිසක් වරප්‍රසාදයක් නොවන බවත්, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දරුවන්ට අධ්‍යාපනය අතහැර යාමට සිදුවන පසුබිම සම්පූර්ණයෙන්ම නැති කිරීමට රජය ගන්නා උත්සාහයට “නැණ ඉසුර” ශිෂ්‍යත්ව වැඩසටහන විශාල ශක්තියක් වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.අතිපූජ්‍ය ගල්බොඩ සිරි ඥානිස්සර හිමි අනුස්මරණ “නැණ ඉසුර – 2026” ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට අගෝස්තු 02 දින අරලියගහ මන්දිරයේදී සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළ අතර, කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන්ගේ අනුශාසනා පරිදි ක්‍රියාත්මක මෙම අරමුදල මඟින් පහ වසර ශිෂ්‍යත්වය සමත් සිසු දරු දැරියන් 460 දෙනෙකු වෙත උසස් පෙළ අධ්‍යාපනය අවසන් වන තෙක් ලබාදෙන ශිෂ්‍යත්ව ප්රදානය කිරීම මෙහිදී සිදු කෙරිණි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ දැවැන්ත පුනරුදයක් ඇති කිරීමට රජය කැපවී සිටින බවත්, ග්‍රාමීය හා නාගරික පාසල් අතර පරතරය අඩු කරමින් සෑම දරුවෙකුටම එක සමාන ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමට අවශ්‍ය යටිතල පහසුකම් හා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් පවතින බවත් අවධාරණය කළාය.මෙම උත්සවය සඳහා සියම් මහා නිකායේ මහා නායක හිමියන් ප්‍රධාන මල්වතු අස්ගිරි අනුනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා ප්‍රධානීන්, තානාපතිවරුන්, දායක දායිකාවන්, ශිෂ්‍යත්වලාභී දරුදැරියන් සහ දෙමාපියන් විශාල පිරිසක් සහභාගී වූහ.














