ප්‍රවීණ සංගීතවේදිනී, විශාරද ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ශෝක පණිවුඩයක් ප්‍රකාශ කළාය. පාර්ලිමේන්තුවේ දෛනික කටයුතු ආරම්භ කරමින් ලේඛන ඉදිරිපත් කිරීමට පෙර අග්‍රාමාත්‍යවරිය මෙම ශෝක ප්‍රකාශය සිදුකළාය.
“හුරුපුරුදු මනරම් හඬක් අපෙන් වෙන් වුණා” යැයි සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ ශෝක පණිවුඩයේ සාරාංශය මෙසේය. දශක අටකට ආසන්න කාලයක් අද්විතීය ගායන පෞරුෂයකින් මෙරට සංගීතය හා සංස්කෘතිය පෝෂණය කළ ආචාර්ය නන්දා මාලනී මහත්මියගේ වියෝව ශ්‍රී ලංකේය සංගීතයේ අසමසම කලා පෞරුෂයක් අහිමි වීමක් බව ඇය පැවසුවාය. එතුමියගේ ගීත ඇසෙමින් ජීවිතයේ විවිධ අවස්ථා ගෙවී ගිය රසිකාවියක ලෙස, සතුටේදීත් වේදනාවේදීත් තමා සමඟ සිටි හුරුපුරුදු හඬක් වෙන්වීමක් ලෙස මෙම වියෝව තදින් දැනෙන බව අගමැතිවරිය ප්‍රකාශ කළාය.
ළමා වියේදී “බුදු සාදු මම සඳුන් ගසක් වෙන්නම්” ගීතයෙන් කලා ලොවට පිවිසි එතුමිය, ආචාර්ය ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ ගුරුහරුකම් යටතේ “රන්මුතු දූව” චිත්‍රපටයෙන් සිනමා ගීත ක්ෂේත්‍රයට එක් වූ බව අගමැතිවරිය සිහිපත් කළාය. එතුමිය ගැයූ ගීත බොහෝමයක් හුදෙක් ඇසෙන ගීත නොව, මෙරට ජන ජීවිතයේ සහ සමාජයේ මෙන්ම අපේම ජීවිතවල කොටස් බවට පත්ව තිබූ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
















