ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධුර කාලය අවසන් වන 2029 වසරට පෙර නැවත වරක් ඇමරිකානුවන් සඳ මතට යැවීමේ සහ එතැනින් නොනැවතී එහි ස්ථාවර මිනිස් ජනාවාසයක් (Permanent Moon Base) ගොඩනැගීමේ දැවැන්ත මෙහෙයුමක ඊළඟ පියවර “නාසා” (NASA) ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
‘ඉග්නිෂන් මූන් බේස්’ (Ignition Moon Base) ලෙස නම් කර ඇති මෙම ඩොලර් බිලියන 20ක දැවැන්ත ව්‍යාපෘතිය අදියර තුනකින් ක්‍රියාත්මක වීමට නියමිතය. මෙහි මූලික පියවර ලෙස මිනිසුන් සඳ වෙත යැවීමට පෙර, සඳේ දකුණු ධ්‍රැවයේ පවතින අතිශය දුෂ්කර භූමිය ගවේෂණය කිරීම සහ සිතියම්ගත කිරීම සඳහා රොබෝ ලෑන්ඩර්ස් (Robotic Landers) සහ පනින ඩ්‍රෝන යානා (Hopping Drones) යැවීමට සැලසුම් කර ඇත. 2029 වසර දක්වා ක්‍රියාත්මක වන මෙම පළමු අදියර යටතේ රොකට් දියත් කිරීම් 25ක් සිදු කිරීමට සහ මෙට්‍රික් ටොන් 4ක බඩු බාහිරාදිය සඳ මතට ගොඩබෑමට නියමිත බව නාසා ආයතනයේ වැඩසටහන් විධායක කාලෝස් ගාර්ෂියා-ගලාන් (Carlos García-Galán) මහතා තහවුරු කළේය.
මෙම අභ්‍යවකාශ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තු ඇමසන් (Amazon) නිර්මාතෘ ජෙෆ් බෙෆෝස්ගේ ‘බ්ලූ ඔරිජින්’ (Blue Origin), ‘ඉන්ටූටිව් මැෂින්ස්’ (Intuitive Machines) සහ ‘ඇස්ට්‍රොබොටික්’ (Astrobotic) යන පුද්ගලික අභ්‍යවකාශ සමාගම් වෙත පවරා ඇත. ඒ අනුව බ්ලූ ඔරිජින් සමාගම විසින් ‘එන්ඩියුරන්ස්’ (Endurance) නැමැති ලෑන්ඩරය ද, ඇස්ට්‍රොබොටික් සමාගම විසින් සඳේ දකුණු ධ්‍රැවයට ආසන්න ‘නොබිල් ක්‍රේටරය’ (Nobile Crater) වෙත ‘ග්‍රිෆින්-1′ (Griffin-1) ලෑන්ඩරය ද ගොඩබෑමට කටයුතු කරනු ඇත.
ව්‍යාපෘතියේ දෙවන හා තෙවන අදියර යටතේ, සඳ මත න්‍යෂ්ටික ප්‍රභාජන ප්‍රතික්‍රියාකාරක (Nuclear Fission Reactors) සහ සූර්ය බලශක්ති පද්ධති ස්ථාපිත කිරීමට නියමිතය. නාසා හි අවසන් ඉලක්කය වන්නේ 2032 වසර වන විට ගඟනගාමීන්ට සඳ මත අර්ධ-ස්ථාවර නිවාස (Semi-permanent Housing) තුළ ජීවත් වෙමින් විද්‍යාත්මක පරීක්ෂණ සිදු කිරීමට, වටිනා සම්පත් කැණීමට සහ එතැන් සිට අඟහරු ලෝකය (Mars) වෙත ගමන් කිරීමේ මෙහෙයුම් පහසු කර ගැනීමටයි. විශේෂයෙන්ම සඳේ දකුණු ධ්‍රැවයේ පවතින මිදුණු අයිස් ජලය, පානීය ජලය සහ ඔක්සිජන් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට බලාපොරොත්තු වේ.














