ශ්‍රී ලංකාව තුළ දුම්වැටි භාවිතය පාලනය කිරීම සහ මහජනතාව ඉන් මුදවා ගැනීම වඩාත් තහවුරු කරනු වස්, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) විසින් වත්මන් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත සඳහා නව දැඩි සංශෝධන කිහිපයක් යෝජනා කර තිබේ. වර්තමාන තාක්ෂණික සහ සමාජයීය පරිවර්තනයන්ට ගැළපෙන පරිදි සකස් කර ඇති එම ප්‍රධාන සංශෝධන යෝජනා මෙසේය:
– පොදු ස්ථානවල දුම්වැටි භාවිතය තහනම් කිරීම: මහජනතාව නිරන්තරයෙන් ගැවසෙන සියලුම පොදු ස්ථාන තුළ දුම්වැටි භාවිත කිරීම මුළුමනින්ම තහනම් කිරීම.
– ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ප්‍රවර්ධන තහනම: අන්තර්ජාලය ඇතුළු සියලු ආකාරයෙන් දුම්වැටි භාවිතය දිරිගන්වනු ලබන ගීත, ගීත ඇල්බම්, චිත්‍රපට සහ ටෙලිනාට්‍ය මෙන්ම යූ ටියුබ් (YouTube), ෆේස් බුක් (Facebook), වීඩියෝ සංවාද ඇතුළු සියලුම මාධ්‍ය ඔස්සේ කෙරෙන ප්‍රචාරණ සහ දැන්වීම් සපුරා තහනම් කිරීම.
විශේෂයෙන්ම වර්තමානයේ තරුණ පරපුර බහුලවම භාවිත කරන සමාජ මාධ්‍ය ජාලා සහ විනෝදාස්වාද මාධ්‍යයන් ඔස්සේ සූක්ෂ්ම ලෙස දුම්වැටි ප්‍රවර්ධනය කිරීමට දුම්කොළ සමාගම් දරන උත්සාහයන් වැළැක්වීම මෙම සංශෝධනවල ප්‍රධාන අරමුණ වී තිබේ. මෙම යෝජනා කඩිනමින් නීතිගත කිරීම මඟින් මෙරට අනාගත පරපුර දුම්වැටි උවදුරෙන් බේරා ගැනීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරයි.
















