ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් “ප්‍රජා සවියට නව බලයක්” තේමාව යටතේ ජූලි 15 සිට අගෝස්තු 15 දක්වා “ජාතික ප්‍රජා සවිබලගැන්වීමේ මාසය” ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙය සංවිධානය කර තිබුණි.වර්තමාන රජය යටතේ මහජන මුදල් වංචා කරන හෝ දූෂණයෙහි නිරත වන කිසිදු පුද්ගලයෙකුට සමාවක් නොලැබෙන බවත්, මූල්‍ය විනය තහවුරු කිරීමට ප්‍රමුඛ අවධානයක් යොමු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.රටේ දරිද්‍රතාව තුරන් කිරීම රජයේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලධර්මයක් බවත්, සුබසාධනය අත්‍යවශ්‍ය ජනතාවට එය නිසි පරිදි ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බවත් ඔහු පැවසීය.
ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ සහකාරවරුන් ඇතුළු සියලු ක්ෂේත්‍ර නිලධාරීන් දේශපාලන බලපෑම්වලින් මිදී, ප්‍රජා සංවර්ධන සභා හරහා සාමූහිකව සහ වගකීමෙන් යුතුව ජනතා අභිලාෂයන් වෙනුවෙන් කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිතයන් රැසක් එක්ව සිටියහ.
















