මෙවර යල කන්නය සඳහා අවශ්‍ය වන ප්‍රධාන පොහොර වර්ග වන යූරියා, බණ්ඩි පොහොර (MOP) සහ මඩ පොහොර (TSP) ප්‍රමාණවත්ව පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චන්දන ලොකුහෙට්ටිගේ මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (ජූනි 05) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය.
පොහොර අවශ්‍යතාව සහ පවතින තොග පිළිබඳව අදහස් දක්වමින්, පසුගිය කන්නවල භාවිතය පදනම් කරගනිමින් මෙවර යල කන්නයට යූරියා මෙට්‍රික් ටොන් 125,000ක්, මඩ පොහොර (TSP) මෙට්‍රික් ටොන් 19,000ක් සහ බණ්ඩි පොහොර (MOP) මෙට්‍රික් ටොන් 42,500ක් අවශ්‍ය වනු ඇතැයි පුරෝකථනය කර ඇති බව ඒ මහතා පැවසීය. දැනට සමස්ත යූරියා තොග ලෙස මෙට්‍රික් ටොන් 151,000ක් පවතින බැවින් අවශ්‍යතාවය ඉක්මවා පොහොර පවතින බවද ඔහු තහවුරු කළේය.
අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේ රජය විසින් පෞද්ගලික පොහොර සමාගම් සතු තොගවලින් 65%ක් වී වගාව සඳහාත්, 35%ක් සෙසු භෝග සඳහාත් ලබා දීමට අවසර ලබා දී ඇති බවයි. ඒ අනුව දැනටමත් යූරියා මෙට්‍රික් ටොන් 108,500ක්, TSP පොහොර මෙට්‍රික් ටොන් 16,300ක් සහ MOP පොහොර මෙට්‍රික් ටොන් 27,600ක් වශයෙන් විශාල පොහොර ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කර තිබේ.
ඉදිරි මහ කන්නය සඳහා ද පොහොර ප්‍රමාණවත් බව තහවුරු කළ ඒ මහතා, ඉදිරියේදී යූරියා මෙට්‍රික් ටොන් 15,000ක් අලුතින් ආනයනය කිරීමට සහ දේශීය පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට සැළසුම් කර ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.
















