බදු පිළිබඳ මහජනතාව තුළ පවතින ඍණාත්මක ආකල්ප වෙනස් කර, බදු ගෙවීම රටේ සංවර්ධනයට සහ සුබසාධනයට සෘජුවම දායක වන අයුරු පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් ‘ජාතික බදු සතිය’ හෙවත් ‘බදු ශක්ති 2026’ අද (06) ආරම්භ වේ. මෙම වැඩසටහන ලබන ජූලි 10 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කරයි. මෙහි සමාරම්භක උත්සවය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ බදුකරණය පිළිබඳ පවතින ඍණාත්මක ආකල්ප ධනාත්මක ආකල්ප බවට පරිවර්තනය කිරීම සහ ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීමයි. මීට අමතරව බදු පදනම පුළුල් කිරීම මගින් එක් පුද්ගලයෙකු මත පටවා ඇති බදු බර අවම කිරීම සහ අපේක්ෂිත බදු ඉලක්ක සපුරා ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධන ක්‍රියාවලිය තහවුරු කිරීම ද මෙහි අරමුණු අතර වේ.
මෙම සතිය තුළ දිවයින පුරා පිහිටි ආදායම් කාර්යාල හරහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, බදු ගෙවන්නන් සඳහා විශේෂ සම්මන්ත්‍රණ සහ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගත් බදු අනුකූලතාව පිළිබඳ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. තවද, ජූලි 11 සහ 12 දිනවලදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ද පැවැත්වීමට නියමිතයි.














