දේශපාලනඥයන් පසුපස ගොස් පෝස්ටර් ගසා රැකියා ලබාගන්නා පැරණි දූෂිත සංස්කෘතිය සම්පූර්ණයෙන්ම නතර කර, කුසලතාවයට පමණක් මුල්තැන දෙමින් දේශපාලනයෙන් තොරව සුදුස්සාට සුදුසු තැන ලබාදීමට රජය පියවර ගෙන ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති දිනිඳු සමන් හෙන්නායක මහතා පවසයි. රජය භාරගන්නා විට රුපියල් බිලියන 800ක පැවති ප්‍රාථමික ගිණුමේ හිඟය, දූෂණය සහ නාස්තිය වැළැක්වීම හරහා රුපියල් ට්‍රිලියන 1.2ක අතිරික්තයක් දක්වා වර්ධනය කිරීමට වත්මන් රජයට හැකිවී තිබේ. මේ හරහා 2024 වසරේ 4.5%ක් වූ විරැකියා අනුපාතය 2025 වන විට 3.8% දක්වාත්, 22.3%ක් වූ තරුණ විරැකියාව 19.1% දක්වාත් අඩු කිරීමට රජය සමත්ව ඇත.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) සහය ඇතිව නව “ජාතික තරුණ ප්‍රතිපත්තියක්” සකස් කර අවසන් කර ඇති අතර, එය මේ මස 10 වැනිදා පාර්ලිමේන්තු කෝකස් එකට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මාසයේ සිට පළාත් 9 පුරා මහජන අදහස් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම ප්‍රතිපත්තිය සැකසීමේදී විශ්වවිද්‍යාල සිසුන් පමණක් නොව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්, ධීවර ප්‍රජාව සහ ලිංගික ශ්‍රමිකයන් වැනි ආන්තික කණ්ඩායම්වල ද අදහස් ලබාගෙන තිබේ. මීට අමතරව, ‘සිහිනයට පියාපත්’ වැඩසටහන යටතේ තරුණ සාහිත්‍යකරුවන්ගේ නිර්මාණ රජයේ වියදමින් මුද්‍රණය කර දීමටත්, ‘මිෂන් ඕලිම්පික්’ හරහා දක්ෂ ක්‍රීඩකයන්ට රුපියල් 50,000ක සහ පුහුණුකරුවන්ට රුපියල් ලක්ෂයක දීමනාවක් ලබාදීමටත්, ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සැප්තැම්බර් 17 වන දින අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් “තරුණ පර්යේෂණ සමුළුව” පැවැත්වීමටත් සියලු කටයුතු සූදානම් කර ඇත.
















