රුසියානු ඩ්‍රෝන යානාවල අනවසර ඇතුළුවීම් සහ මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය හමුවේ දශක කිහිපයකට පසු ප්‍රථම වතාවට සිය ගුවන් ආරක්ෂණ සැලසුම් නැවත සකස් කිරීමට නේටෝ (NATO) සංවිධානය පියවර ගනිමින් සිටී. ඒ අනුව, යුරෝපා ගුවන් සීමාවට ඇතුළු වන සතුරු ඩ්‍රෝන යානා වහාම බිම හෙළීම සඳහා නේටෝවේ ඉහළම ඇමෙරිකානු අණදෙන නිලධාරියා වෙත අතිතිශය පුළුල් බලතල ලබාදීමට එහි සාමාජික රටවල් සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නව යෝජනාවට අනුව, ජෙනරාල් ඇලෙක්සස් ග්‍රින්කෙවිච් (Alexus Grynkewich) මහතා වෙත අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට සහ ගුවන් ආරක්ෂණ පද්ධති වඩාත් වේගයෙන් අවශ්‍ය ස්ථාන වෙත යෙදවීමට පූර්ණ නිදහස හිමිවනු ඇත. එළඹෙන ජූලි මාසයේ පැවැත්වීමට නියමිත නේටෝ සමුළුවට පෙර පවතින දීර්ඝ පරිපාලන සීමාවන් (Red tape) ඉවත් කරමින් මෙම බලතල පැවරීම අවසන් කිරීම සාමාජික රටවල අරමුණ වී තිබේ.
ඇමෙරිකාව සිය හමුදා බලඇණි කිහිපයක් කලාපයෙන් ඉවත් කරගැනීමට කටයුතු කරමින් සිටින පසුබිමක, යුරෝපය ආරක්ෂාව අතින් වඩාත් ස්වාධීන සහ ශක්තිමත් පියවරක් තැබීමට උත්සාහ කිරීමේ කොටසක් ලෙස ද මෙම තීරණය ක්‍රියාවට නැංවෙන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
















