නීතිවිරෝධී ලෙස අලෙවි කිරීම සඳහා සඟවා තිබූ බෙහෙත් පෙති 67,640ක් සහ බීඩි කොළ කිලෝග්‍රෑම් 30ක පමණ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහ පොලීසිය එක්ව සමත්ව තිබේ. කල්පිටිය, ජනසවිපුර ප්‍රදේශයේ ඊයේ (19) සිදුකළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම තොගය සොයාගෙන ඇත.
වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට ලද තොරතුරකට අනුව කල්පිටිය පොලීසිය හා එක්ව සිදුකළ මෙම පරීක්ෂාවේදී, සැකකටයුතු නිවසක සඟවා තිබූ මෙම ඖෂධ පෙති සහ බීඩි කොළ අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කල්පිටිය ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු ඇතුළු නීතිවිරෝධී ද්‍රව්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
















