ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව මුලතිව් පුදුමාතලන් වෙරළ ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, පුපුරන ද්‍රව්‍ය භාවිතයෙන් අල්ලන ලද කිලෝ ග්‍රෑම් 3,200කට අධික මත්ස්‍ය තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. නැගෙනහිර නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනය සහ මුලතිව් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය එක්ව ඊයේ (07) මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.
පුදුමාතලන් වෙරළ ප්‍රදේශයේ මත්ස්‍ය තොග රැස්කර තිබූ සැකකටයුතු ස්ථානයක් පරීක්‍ෂාවට ලක්කිරීමේදී මෙම නීතිවිරෝධී මත්ස්‍ය තොගය සොයාගෙන ඇති අතර, පුදුකුඩිඉරුප්පු ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සැකකාරිය සහ අදාළ මත්ස්‍ය තොගය වැඩිදුර නීතිමය කටයුතු සඳහා මුලතිව් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දී ඇත.













