ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව කලපු ප්‍රදේශයේදී 2026 මැයි මස 12 වන දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 941කට අධික තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් විය. බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කැළණි ආයතනය විසින් මෙම වැටලීම සිදු කර ඇත.
නාවික හමුදා නිලධාරීන් මීගමුව කලපු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් පරීක්ෂාවට ලක් කර තිබේ. එම යාත්‍රාව තුළ උර තිහක අසුරා තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් නවසිය හතළිස් එකකට අධික තොගයක් සොයාගත් අතර, ඒ සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ එම ඩිංගි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගැනුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 සහ 42 යන වයස්වල පසුවන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.














