නාවලපිටිය වෙරළුගස්හින්න ප්රදේශයේ තේ වත්තක පිහිටි වගා ළිඳක තිබී මියගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් ගම්පොළ වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ (27) සොයාගෙන තිබේ.
හොඳින් වැඩුණු කඳුකර කොටියා මියගොස් දින කිහිපයක් ගතවී ඇති බවට සැක කෙරෙන අතර, සත්වයා ගොදුරක් පසුපස හඹා යාමේදී ළිඳට වැටුණේද, මන්දකට හසුව මියගියේද, නැතහොත් කිසියම් පිරිසක් මළ සිරුර ළිඳට දමා ගියේද යන්න පිළිබඳව සැක මතුව ඇති බව වනජීවී නිලධාරීන් සඳහන් කරයි.
ගම්වාසීන් පවසන්නේ දිට්වා සුළි කුණාටුව පැවති සමයේ එම ළිඳට විශාල වශයෙන් පස් සෝදාගෙන විත් රැඳී තිබූ බවයි. එසේම, ළිඳට වැටුණු කොටියාට නැවත ගොඩට පැමිණීමට අවස්ථාව තිබියදී මියගොස් සිටීම සැක සහිත බවද ප්රදේශවාසීහු පවසති.
කාලයක් තිස්සේ භාවිතයට නොගත් මෙම ළිඳ අසල පිහිටි කෝපි වත්තේ සේවයට ගිය කම්කරුවෙකු කොටියාගේ සිරුර දැක ඒ පිළිබඳව නාවලපිටිය පොලිසියට දැනුම් දී තිබේ. අනතුරුව පොලිසිය විසින් වනජීවී නිලධාරීන් දැනුවත් කර ඇත.
මළ සිරුර නාවලපිටිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර අධිකරණ නියෝග ලබාගැනීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්ය කාර්යාලය වෙත රැගෙන යාමට නියමිත බව වනජීවී නිලධාරීහු සඳහන් කරති.













